ක්‍රිස්‌තියානි හෙවත් කතෝලික ආගම

මහාචාර්ය නලින් ද සිල්වා

කිතුණු දහම පළමු සියවස්‌ තුනේ එතරම් ව්‍යාප්ත නො වුණ ද ඒ කාලයෙහි එහි පදනම යම් ප්‍රමාණයකට වුව ද සකස්‌ විණි. ප්‍රථම පාප් ලෙස සැලකෙන ශාන්ත පීතර සහ පාවුළු සමඟ රෝමයේ වාසය කිරීම රෝමයේ පූජකවරුන්ට ප්‍රධාන තැන ලැබීමට හේතුවක්‌ ලෙස සැලකෙයි. එහෙත් එය එසේම සිදු විණි ද එසේත් නැත්නම් රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන නගරය වූ රෝමයේ විසූ පූජකවරුන්ට ප්‍රධාන තැන ලැබුණේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ක්‍රිස්‌තු වර්ෂ 58 වන විට (එනම් අද ක්‍රිස්‌තු වර්ෂ 58 නමින් හැඳින්වෙන වසර වන විට) රෝමයේ ක්‍රිස්‌තියානි (කතෝලික) භක්‌තිකයන් යම් ප්‍රමාණයක්‌ විසූ බව හෙළි වෙයි.

ක්‍රිස්‌තියානි හෙවත් කතෝලික ආගම යෑයි පසුව හඳුන්වනු ලැබූ ආගම මුල දී ද වැඩි වශයෙන් ප්‍රචාරය වූයේ යුදෙව් නො වන ගෝත්‍ර හා ජනතාව අතර ය. මුල් ආගම ක්‍රිස්‌තියානි ආගම යනුවෙන් හැඳින්වෙන්නට ඇත. ක්‍රිස්‌තුස්‌ දෙසූ ආගම ක්‍රිස්‌තියානි නමින් හැඳින්වීම ස්‌වාභාවික ය. ඒ කතෝලික ලෙස හඳුන්වන්නට ඇත්තේ සමස්‌තය වැනි කරුණු අවධානයට ලක්‌ වීමෙන් පසුව විය හැකි ය. (අප බොහෝ විට කියා ඇති පරිදි කතෝලික යන්නෙන් සමස්‌තය යන්න ගම්‍ය වෙයි). කතෝලික ආගම තහවුරු වීමෙන් පසුව දහ සය වැනි සියවසේ දී කතෝලික පල්ලියට එරෙහි ව මාටින් ලූතර් වැන්නන් ඇරඹූ ව්‍යාපාරයෙහි අවශ්‍යතාව වූයේ නැවතත් මුල් ක්‍රිස්‌තියානි ආගමට යැම ය. එබැවින් ඔවුහු තම නව ආගම ක්‍රිස්‌තියානි ලෙස ම හැඳින්වූ හ.

මේ මුල් ක්‍රිස්‌තියානියට ආපසු යෑම යන්න තව තවත් අධ්‍යයනයට භාජන විය යුත්තකි. එක්‌ අතෙකින් ගත් කල අද යොදා ගන්නා වචන භාවිත කළ හොත් මාටින් ලූතර් වැන්නෝ මූලධර්මවාදියෝ වූ හ. බොහෝ චින්තන හා වෙනත් විප්ලව එවකට ආධිපත්‍යය දරන මතවාදයේ අනුගාමිකයන්ට හා අනුග්‍රාහකයන්ට අනුව මූලධර්මවාදී වෙයි. මාක්‌ස්‌වාදයේ ද ආපසු මාක්‌ස්‌ට (Back to Marx) ආදී ව්‍යාපාර අද ද වෙයි. එහෙත් මේ කිසිවකුට හෝ කිසි ම ව්‍යාපාරයකට හෝ ආපසු මුල් දහමට, කෘතියට යා නොහැකි ය. සෑම ඉගැන්වීමක්‌ ම විකාශයෙහි දී යම් යම් කරුණු එකතු කරගන්නා අතර වෙනත් කරුණු ඉවත් කරයි. ඒ සියල්ල නැවතත් තිබූ අයුරින් ම පවත්වාගෙන යැමට සමාජ විකාශය විසින් ඉඩ දෙනු නො ලැබෙයි. මාටින් ලූතර් වැන්නන්ට ද කිසි දිනෙක නැවතත් ක්‍රිස්‌තුස්‌ කරා යැමට නොහැකි විය.

එහෙත් ඔවුන්ට අවශ්‍ය වූයේ කුමක්‌ ද යන්න තේරුම් ගැනීමෙන් අපට මුල් ක්‍රිස්‌තියානිය කුමක්‌ ද යන්න පිළිබඳ හෝඩුවාවක්‌ ලබාගත හැකි ය. මෙහි දී අවධාරණය කළ යුත්ත නම් ඒ මුල් ක්‍රිස්‌තියානිය අප දකින්නේ ද මාටින් ලූතර් වැන්නන් ගේ ඇසින් බව ය. ක්‍රිස්‌තුස්‌ගේ ඉගැන්වීම් කතෝලික ආගම ලෙස මෙතරම් පැතිරී යැමට හේතු කවරේ ද යන්න අප ඇසූ මුල් ප්‍රශ්නයක්‌ වෙයි. එයට ඉතා පහසු පිළිතුරු තිබේ. එනම් දේශපාලන ආධිපත්‍යය යෙදවීම, කුරුස යුද්ධ (Crusades) – කඩුවේ බලය ඔස්‌සේ ආගම ප්‍රචලිත කිරීම, සමීක්‍ෂණ (Inquisitions) ආදිය වෙයි. එහෙත් මේ සාධාරණ (පොදු යන අරුතින්) හේතු නො වේ. යුරෝපයේ දී මේ ක්‍රම භාවිත වුවත් ආසියාවේ පිලිපීනයේ හැරෙන්නට මෑතක්‌ වන තුරු මේ ක්‍රමවලින් වුවත් කතෝලික හෝ වෙනත් ක්‍රිස්‌තියානි ආගමක්‌ හෝ පතුරුවා හැරීමට නොහැකි විය. අද දකුණු කොරියාවේ ද වෙනත් ආසියාතික රටවල ද මූලධර්මවාදී යෑයි කියන ක්‍රිස්‌තියානි ආගම්වලට යම් ඉඩක්‌ සැපයී ඇත්තේ කෙසේ ද යන්න ද අප සලකා බැලිය යුතු ය.

ලෝකය පුරා පැතිරී ගියේ ක්‍රිස්‌තුස්‌ගේ ඉගැන්වීම් ද එතුමාගේ නමින් ප්‍රචාරය වූ වෙනත් ඉගැන්වීම් ද යන ප්‍රශ්නය වෙයි. ක්‍රිස්‌තුස්‌ යුදෙව් ඉගැන්වීම්වලට පටහැනිව ගොස්‌ ඇති බව පැහැදිලි ය. යුදෙව්වන් ඉතා විශාල බහුතරයක්‌ එතුමාට විරුද්ධ වූයේ ද අවසානයේ දී රෝම ආණ්‌ඩුකාරයා ලවා එතුමාට මරණ දඬුවම පමුණුවනු ලැබූයේ ද එබැවිනි. එතුමා තමන් දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා බව කීවේ ය. ඒ කියමන යුදෙව්වන් කුපිත කළ බව නිසැක ය. මාටින් ලූතර් වැන්නෝ ද ඒ නිෂ්ප්‍රභ නො කරති. එහෙත් ඔවුහු මරියතුමියට කතෝලික ආගම විසින් දෙනු ලැබ ඇති තත්ත්වය ප්‍රතික්‍ෂේප කරති.

කතෝලික ආගමේ දෙවියන් වහන්සේ සංයුක්‌ත වෙති. කතෝලිකයෝ එකට එකතු වී තම සංයුක්‌ත දෙවියන් වහන්සේට පල්ලියේ දී යාඥ කරති. කතෝලික ආගමෙහි ශූද්ධ වූ ත්‍රිත්වයක්‌ (Holy Trinity) වෙයි. ඒ දෙවියන් වහන්සේ හා පීතෘ, දෙවියන් වහන්සේ හා පුත්‍රයා, ශූද්ධ වූ ආත්මය (Holy Spirit) යනුවෙනි. මේ ත්‍රිත්වය ක්‍රිස්‌තියානි ආගම් විසින් ප්‍රතික්‍ෂේප නො කෙරේ. (දෙවියන් වහන්සේ පියා ලෙස ද පුත්‍රයා ලෙස ද එක්‌ විට පෙනී සිටියි.) එසේ නම් ක්‍රිස්‌තියානි ආගම් විසින් කතෝලික ආගමේ කුමක්‌ ප්‍රතික්‍ෂේප කෙරෙන්නේ ද? මා තේරුම් ගන්නා ආකාරයට ක්‍රිස්‌තියානි ආගම් විසින් ප්‍රතික්‍ෂේප කෙරෙන්නේ සංයුක්‌ත හා සාමූහික දෙවියන් වහන්සේ ය හා සාධාරණ වශයෙන් ගත් කල සාමූහිකත්ව ය. ක්‍රිස්‌තියානි ආගම නැවත යන්නේ යෑයි කියන්නේ වියුක්‌ත හා කේවල දෙවියන් වහන්සේ කෙනකු වෙත ය. මෙහි දී කේවල යන්නෙන් මා අදහස්‌ කරන්නේ තනි තනි ව වුවත් කොතැනක දී වුවත් යාඥ කළ හැකි දෙවියන් වහන්සේ කෙනෙකි.

එසේ නම් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ ද එවැනි කේවල දෙවියන් වහන්සේ කෙනෙක්‌ ද? එසේ විය යුතු ම නැත. අප නැවතත් මතක්‌ කර ගත යුත්තේ අප මේ වියුක්‌ත කේවල දෙවියන් වහන්සේ දකින්නේ මාටින් ලූතර් වැන්නන් ගේ ඇස්‌වලින් බව ය. ඔවුන් දකින ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ ම විය යුතු නො වෙයි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ ඇත්තේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ රාමුවෙහි ය. මාටින් ලූතර් දකින ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දෙවියන් වහන්සේ ඇත්තේ මාටින් ලූතර් ගේ රාමුවෙහි ය. අප මේ දකින්නේ අපේ රාමුවෙහි ඇති දෙවියන් වහන්සේ බව ද අමතක නො කළ යුතු ය.

කෙසේ වෙතත් අප දකින දෙවියන් වහන්සේ අපේ රාමුවෙහි සංගත විය යුතු ය. අපේ උත්සාහය එලෙස සංගත දෙවියන් වහන්සේ කෙනකු නිර්මාණය කිරීමටත් අපේ ප්‍රශ්නවලට සංගත පිළිතුරු ලබා ගැනීමටත් ය. මාටින් ලූතර් වැන්නන් ගේ ක්‍රිස්‌තියානි ආගම්වල මරියතුමියට ප්‍රධාන තැනක්‌ නො දීමෙන් පෙන්නුම් කරන්නේ දෙවියන් වහන්සේ ගේ වියුක්‌ත බව වැඩි කිරීම ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ පියා දෙවියන් වහන්සේ බව පිළිගැනීම මාටින් ලුතර් වැන්නන් ගේ රෙපරමාදු හෙවත් ප්‍රතිසංස්‌කරණවාදී ක්‍රිස්‌තියානි ආගම්වලට ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් මරියතුමියට ප්‍රධාන තැනක්‌ දීම හේතුවෙන් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ දේවත්වයට තරමක කැළලක්‌ වන්නේ යෑයි ප්‍රතිසංස්‌කරණවාදීන් සිතන්නට ඇත. එහෙත් ඔවුන්ට එතුමිය සහමුලින් ම අමතක කර මිනිස්‌ ලොවට පැමිණි දෙවියන් වහන්සේ කෙනකු ගැන කතා කිරිමට ද නොහැකි ය. මේ හේතුවෙන් මරියතුමිය ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ මව ලෙස පිළිගන්නා අතර එතුමියට දේවත්වයක්‌ හෝ වෙනත් වැදගත් බවක්‌ ආරෝපණය නො කිරීමට ප්‍රතිසංස්‌කරණවාදීහු බලාපොරොත්තු වූ හ.

යුදෙව්වෝ වියුක්‌ත වූ හ. එහෙත් ඔවුහු සාමූහිකත්වය අගය කළ සාමූහික ජීවිත ගත කළ අය වූ හ. (මගේ පැරැණි ලිපියක යුදෙව්වන් වෙන් ව ජීවත් වූ අය යෑයි කියා ඇත්නම් ඒ වරදකි). ක්‍රිස්‌තුස්‌ වහන්සේ මේ සාමූහිකත්වය ප්‍රතික්‍ෂේප කෙළේ යෑයි කිව නොහැකි ය. උන්වහන්සේ ද සාමූහිකත්වය අගය කළ හ. උන්වහන්සේ සමාජයෙන් වෙන් ව තනිව ජීවත් වූ අයෙක්‌ නො වූ හ. උන් වහන්සේ වියුක්‌තය නම් ප්‍රතික්‍ෂේප කළ හ. එහෙත් ප්‍රතිසංස්‌කරණවාදීහු මුල් ක්‍රිස්‌තියානියට ආපසු යන්නේ යෑයි කියමින් සමාජය එකල විකාශය වෙමින් පැවැති තැනකට යැමට උත්සාහ කළ හ. ඔවුහු ක්‍රිස්‌තුස්‌ වහන්සේ වෙතට යන්නේ යෑයි කියමින් බොහෝ කරුණුවලින් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගෙන් ඉවතට ගිය හ.

මේ සියලු කරුණු හේතු කොටගෙන ක්‍රිස්‌තුස්‌ වහන්සේ සංයුක්‌ත චින්තනයක සාමූහිකත්වයට ගරු කළ අයකු ලෙස අපි හඳුනා ගනිමු. යුදෙව්වන් උන්වහන්සේට විරුද්ධ වූයේ උන්වහන්සේ වියුක්‌තයට එරෙහි ව යැම නිසාත්, තමන් දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා යෑයි ප්‍රකාශ කිරීම නිසාත් ය. යුදෙව්වෝ කෙතරම් වියුක්‌ත වූවෝ ද යත හොත් ඔවුහු දෙවියන් වහන්සේ ගේ පිළිම නො ඇඹුවෝ ය. මෙය ඉස්‌ලාම් ආගමට පොදු වූ කරුණක්‌ විය. යුදෙව් හෝ ඉස්‌ලාම් හෝ ආගමික ස්‌ථානවල පිළිම චිත්‍ර ආදිය දක්‌නට නො ලැබේ. එහෙත් කතෝලික දේවස්‌ථානවල ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ මෙන් ම මරියතුමිය ගේ ද සුරුවම් දක්‌නට ලැබෙයි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙවියන් වහන්සේ හා දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා වුව ද මරියතුමිය ගේ ද පුත්‍රයා විය. එපමණට දෙවියන් වහන්සේට මිනිස්‌ ස්‌වභාවයක්‌ තිබිණි. වියුක්‌ත දෙවියන් වහන්සේ මෙන් නො ව උන්වහන්සේ එකල කා හටත් දැකගත හැකි විය. මරියතුමිය ද එසේ විය. එබැවින් ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙවියන් වහන්සේ වුව ද උන්වහන්සේ ගේ හා මරියතුමිය ගේ පිළිම ඇඹීම හා චිත්‍ර ඇඳීම ප්‍රශ්නයක්‌ නො වී ය. ප්‍රතිසංස්‌කරණවාදීහු මරියතුමියට වැදගත් තැනක්‌ නො දීමෙන් ද දෙවියන් වහන්සේ නැවත වියුක්‌ත කළ හ.

යුදෙව්වෝ තම ආගම ව්‍යාප්ත කිරීම සඳහා උනන්දු නො වූ හ. ඔවුන් අනෙක්‌ ආගම්වලට විරුද්ධ ව ක්‍රියා කළ නමුත් අන්‍ය ආගම්වල දෙවියන් වහන්සේලා ගේ හා වෙනත් අය ගේ පිළිම කඩා බිඳ දැමූ නමුත් අන්‍යයන් තම ආගමට හරවා ගැනීමට මහත් උත්සාහයක නො යෙදුණ හ. සාමාන්‍යයෙන් යුදෙව්වකු විය හැකි වූයේ උත්පත්තියෙනි. එහෙත් ක්‍රිස්‌තියානි ආගමට මුල දී කිසිවකු උපතින් ම ඒ ආගමට නො ලැබුණි. එබැවින් ක්‍රිස්‌තුස්‌ වහන්සේට අන්‍යයනට ඉගැන්වීමට පමණක්‌ නො ව ඔවුන් ක්‍රිස්‌තියානි කිරිමටත් සිදු විය.

එහි ප්‍රතිඵලය වූයේ බොහෝ විට යුදෙව්වන් උන්වහන්සේට විරුද්ධ වූ හෙයින් යුදෙව්වන් නො වන අයට ඉගැන්වීමට සිදු වීම ය. විශේෂයෙන් ම ක්‍රිස්‌තුස්‌ වහන්සේ මරණයට පත් කිරීමෙන් පසුව උන්වහන්සේ ගේ ආරම්භක ගෝලයන්ට මෙය බලපාන්නට ඇත. ප්‍රධාන අපොස්‌තුළුවරුන්ට මෙය වඩාත් ම දැනුණාට සැකයක්‌ නැත. පීටර්තුමා හා පාවුළුතුමා බටහිර ආසියාවෙන් පැන ගොස්‌ රෝමයේ තම ඉගැන්වීම් කටයුතු කෙළේ නම් ඒ ගැන පුදුම වන්නට දෙයක්‌ නැත. එමෙන් ම රෝම ආණ්‌ඩුකාරයා වූ පිලාතේ ක්‍රිස්‌තුස්‌ වහන්සේට මරණීය දණ්‌ඩනය නියම කෙළේ යුදෙව්වන් ගේ කීමට බවත් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගෙන් හෝ අපොස්‌තුළුවරුන් ගෙන් හෝ රෝමයට තර්ජනයක්‌ නො වූ බව ඔහු දැන සිටි බවත් අප අමතක නො කළ යුතු ය. ඇතැම් විට පීටර් හා පාවුළු අපොස්‌තුළුවරුන්ට යුදෙව්වන් ගෙන් බේරී රෝමයට පලා යැමට පිලාතේ ආණ්‌ඩුකාරයා ආධාර කෙළේ නම් අප එයට ද පුදුම විය යුතු නැත. මෑත ඉතිහාසයේ බොහෝ රටවලින් එංගලන්තයට පැමිණි හා පැමිණෙන විප්ලවවාදීන් ගෙන් (කාල්මාක්‌ස්‌ ද ඇතුළු) ඒ රටට අබමල් රේණුවක ද හානියක්‌ නො වන බව ඉංගිරිසීහු දනිති. යම් අයුරකින් ඔවුන් ගෙන් එංගලන්තයට ප්‍රශ්නයක්‌ වේ නම් ඉංගිරිසිහු ඔවුන්ට එංගලන්තයට පැමිණීමට අවසර දෙත් ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: