Tag Archives: සිංහලයා

මානව හිතවාදී ඉස්ලාමයෙන් බිහිවූ සදාචාරාත්මක සැලැස්ම

ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන භක්තියට අතිශය වැදගත්කමක් හිමිකර දෙන ඉස්ලාමය ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ ක්‍රියාවට එරෙහිව අනතුරු හඟවයි.

පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලාධිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, අදාළ වතාවත් කිරීම සකාත් ගෙවීම පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා හිදී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති. මෙවැන්නෝ අල්ලාහ්ට බිය ගැත්තෝ වෙති.

(අල්කුරානය 2:177)

ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූ®ල ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙර්.

1. අපේ ඊමාන් භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.

2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.

3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.

4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක් කල් ක්‍රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත කී කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා භ්‍රමණය වේ.

මිනිසකු කෙරෙහි සදාචාරාත්මක අණපනත් පැනවීමට පෙරාතුව ඔහුගේ සෑම කටයුත්තක් ක්‍රියාවක්ම මෙන්ම සෑම තැනකදීම සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස ඥෂ්ටිය හෙලමින් සිටින බව මුලු ලෝකයෙන්ම සැඟවුවත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි බව අන් සියල්ල මුලාවට පත්කළත් අල්ලාහ් මුලා කිරීමට නොහැකි බව, කවරකුගේ ග්‍රහහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාමය වෙර දරයි.

මෙසේ අල්ලාහ්ගේ ප්‍රසාදයට ඉවහල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට සදාචාරාත්මක වශයෙන් වූ උසස් තත්ත්වය ද ඉස්ලාමය මගින් සලසා දෙනු ලැබේ. මානව සදාචාරාත්මක සංවර්ධයෙහි අසීමිත අගයන් ඇති කිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්‍යමය හෙළිකිරීම් (‘වහී) යනු ඥානයේ මූලහරය වශයෙන් සළකා මේ සදාචාරාත්මක තතත්ත්වයට නොසැලෙන ස්ථාවරත්වයක් ලබා දෙයි.

සාධාරණ හෝ හේතු සහගත ලෙස චර්යාවේ හැඩ ගැස්වීම් අභාසය කිරීම සහ වෙනස් කිරීම් කරගත හැක. එහෙත් හිතාමතා සිදු කරන වරදක් වශයෙන් බැරෑරුම් වෙනස් කිරීමක් හෝ සදාචාරව ලිහිල් කරවීමක් හෝ පවතින අඛණ්ඩ භාවය කඩකිරීමක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිව අල්ලාහ් කෙරෙහි ඇල්ම සහ බිය හේතුවෙන් වූ සදාචාරයනට මේ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බලපෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ.

අල්ලාහ් සහ කියමන් දවස පිළිබඳව ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවත් අවංකව මෙන්ම හෘදයාංගමව සදාචාරාත්මක පැවැතුම් සකසා ගනු පිනිස මිනිසාට හැකියාවක් ඇතිවේ. මේ සදාචාර නීතිරීතින් හා ව්‍යාජ ස්වභාවයක් නැත. අමුතු ආටෝප ද නැත. සාමාන්‍ය සදාචාර පැවැතුම් වලින් ඈත් කිරීමක්ද නැත. හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශුවක් හෝ අමතක කොට හැර දමානැත. ව්‍යවහාරයේ ඇති සියලුම සදාචාර විනයන් ගැන මෙහි සළකා ඇත.

ඒ ඒ තැන් හී එකිනෙකට උචිත ලෙස පිහිටුවා ජීවන සැලැස්මක් තුල සමස්ථයක් වශයෙන් සපුරා ක්‍රියාත්මක වන අන්දමින් සැකසී ඇත. මෙමගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල් කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ත හැසිරීම්, පෘථග්ජන පැවැතුම් මෙන්ම දේශපාලනික, ආර්ථික, අධිකරණ, අධ්‍යාපනික හා සමාජයීය කටයුතුවලදී පිළිපැදිය යුතු සදාචාරාත්මක විනය ධර්මයන් ඉස්ලාමයේ මෙලෙස විග්‍රහ කර තිබේ.

ඉස්ලාමීය සදාචාරයෙන් මිනිස් ජීවිතය, නිවසත් සමාජය දක්වාත් කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත් කෙටියෙන්ම කිවහොත් තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සකස්විය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමීය සදාචාරය තුළින් කිසිදු අංශුවක් ගිලිහී නැත. කිසිදු ක්‍ෂේත්‍රයක් මගහැරී නැත. එය අවබෝධය ද පහසුය. එමගින් ජීවිතය උතුම් පරමාර්ථ සහිතව හැඩ ගස්වා ගත හැකිය. මෙහිලා ආත්මාර්ථකාමී හෝ පහත් ලාභාපේක්‍ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩක් ද නැත.

හෘද සාක්ෂියට එකඟ වූ ද්වි පෙවතක් සකසා ගැනීමත් කවර අවස්ථාවක් යටතේ වුවද වරදට යොමුවීමෙන් වැලකී සිටීමටත් මිනිසා පෙළඹවීම ඉස්ලාමීය සදාචාරයේ අරමුණ වේ.

ෆවුස් මොහොමඩ්

හජ් ඉතිහාසය

ඉස්ලාමයේ පංච මහා වගකීම් වලින් පස්වැන්න හජ් වන්දනාව ඉටුකිරීමයි. හජ් යන අරාබි පදයේ අරුත “සොයා යාම” “පෙරට යාම” යන්නයි. එනම් මුල්ම සිද්ධස්ථානය වන ක:බාව සොයා යාමයි. ආර්ථිකව හා ශාරීරිකව වශයෙන් හැකියාව ඇති අය හජ් මෙහෙය සඳහා යාම අනිවාර්ය වේ. මේ පිළිබඳ අල්කුර්ආනය මෙසේ පවසයි. හැකියාව තිබෙන අය එහි ගොස් අල්ලාහ් වෙනුවෙන් හජ් වතාවන් ඉටු කිරීම අනිවාර්ය වේ. යම් කෙනෙක් ඊට පිටුපායි නම් අල්ලාහ්ට කිසිවක් අඩු නොවේ. මන්ද නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවන් නොමැත්තෙකි.

ලොවේ නොයෙක් පෙදෙස් වල සිටි නොයෙක් භාෂාවන් හසුරුවන මිලියන ගණනක බැතිමත්හු මක්කාවේ ක:බා දේවස්ථානයේ දී එකම දිනක එකම වේලාවක චාම් ඇඳුමෙන් සැරසී එකම දිශාවකට හැරී ජාති කුල වර්ණ උස් පහත් ආදී භේදවලින් තොරව අල්ලාහ් දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව සිදු කරන මේ මහා නමස්කාරය මෙලොව ඇති විශාලම දේව මෙහෙයයි.

හජ් වන්දනය මුස්ලිම් ජනතාවගේ සහෝදරත්ව සම්බන්ධතාවය ගොඩනැඟීමේ කදිම අවස්ථාවකි. මුස්ලිම් බැතුමතුන්ගේ වගකීම වනුයේ අල්ලාහ් දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම අවනත වීමයි. එය දේශනවලට සීමා විය යුතු නැත. එය හජ් කර්තව්‍යයෙන් වඩාත් පැහැදිලිවේ.

මීට වසර දහස් ගණනකට පෙර ඉරාකයේ දේව පවුලක නබි ඉබිරාහිමි තුමා උපත ලැබීය. එකල රට පාලනය කළේ කමිරුද් නම් කෲර රජ කෙනෙකි. ඔහුට දෙවියන් ලෙස සලකා නමස්කාර වැඳුම් පිදුම් කළ යුතු යැයි මහජනයාට අණකොට තිබිණ. මෙම දුර්මතයට විරුද්ධව නැගී සිටි ඉබ්රාහිමි නබිතුමා අල්ලාහ් හැර වෙන කිසිවෙකුට නමස්කාර නොකරන ලෙස ප්‍රසිද්ධ දේශනා පැවැත්විය. මෙයින් කෝපයට පත් රජතුමා නබි තුමා ගිනිමැලයක දමා පුළුස්සන ලෙස අණකළේ ය.

රාජ අණට අනුව ගිනිමැලයට දැමීමට සූදුනම් වූ මොහොතේ දේව දූත ජිබිරිල් අෙලෙතුමා උදව් සඳහා පැමිණියේද, අල්ලාහ්ගේ අචල විශ්වාසයයෙන් නොසැලුණු මෙතුමා “දෙවියන් මා සමඟ සිටියි” යනුවෙන් පිළිතුරු දුන්හ. රාජ අණට අනුව දැමීමත් ඔහුට එය සුළං හමන උද්‍යානයක් බවට පත්ව තිබූ බව සඳහන් වේ.

තම 80 වැනි වියේදී අල්ලාහ් ආලාගේ මාර්ගයේ යෙදවීමට තමන්ට දරුවෙක් ලබා දෙන ලෙස ඔහු ඇයද සිටියේ ය. මෙම ඇයදීම පිළිගත් අල්ලාහ් තආලා ඉබ්රාහිමි නබිතුමාගේ බිරිඳ වන හාජ්රා රළි තුප්ධ ඉස්මායිල් කම් දරුවකු දායාද කළහ.

මෙසේ දින ගෙවෙද්දී දිනක් නබි තුමා සිහිනයක් දුටුවේය. එනම් වයෝ වෘද්ධ වියට පත් ලැබුණු දරුවා සහ බිරිඳ කාන්තරයේ තනිකර දමන ලෙස අණ කළ සිහිනය. මෙය අල්ලාහ්හආලාගේ ආඥාවක් ලෙස ඒකාන්තයෙන් පිළිගත් ඉබ්රාහිමි තුමා ගිනියම් වූ කාන්තාරයේ පුත් ඉස්මායිල් වහා හාෂ්රා රළිතුමියට තනිකර දමා පැමිණියේය. ආහාරයක් හෝ දිය බිඳක් නොමැති මව සහ පුතා කාන්තාරයේ මැද දිව යන්නට වූහ.

අවසානයේ දෙඅත් ඔසවා අල්ලාහ් තආලාගෙන් පිහිට පැතීය. පුදුමයක් මෙන් පුතුගේ පාමුල දිය උල්පතක් බිහිවිය. මෙයින් පිපාසය සන්සිදුවාගත් දෙදෙනා “සම් සම්” (නවතිනු නවතිනු) යනුවෙන් හඩනඟා වේගයෙන් ගලා ආ දිය පහර නතර කිරීමට උත්සාහ කළාය. මීට අවුරුදු දහස් ගණනකට පෙර මතු වූ මේ උල්පත අද පවා මක්කාවේ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා පිපාසය සංසිදුවන්නේ ඉබ්රාහිම් නබි තුමාගේ උත්තරීතර පරිත්‍යාගය නිසාය.

මේ මහා වැලිකතරේ මතුවූ ‘සම් සම්” දිය උල්පත උදාවීමත් සමඟම ජනයා එහි වාසය කිරීමට පටන් ගත්හ. කලකට පසු එය ජනාකීර්ණ මක්කා නගරය බවට පත්විය. වන්දනාකරුවන්ගේ වත් පිළිවෙත් කරන කේන්ද්‍රස්ථානය වන මෙය සාමය හා ආරක්ෂාව ලබාදෙන ස්ථානය වේ. ඈත අතීතයේ සිට අද දක්වා මෙම ස්ථානය අල්ලාහ්තආලා ආරක්ෂාකර ඇත.

අල්ලාහු වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබා ඉදිරිපත්වූ ඉස්මායිල් නබිතුමාණන් විසින් කරන්නට යෙදුනු පරිත්‍යාගය සිහිපත් කිරීම සඳහා අද ලොව පුරා සිටින බැතිමත්හු හජ් උළෙල සමරනු ලබයි. ආගමික හා සංස්කෘතික අතින් ක:බා ස්ථානය වැදගත් වේ. ක: බා ස්ථානයට පැමිණෙන කාහටත් අල්ලාහ් දෙවියන්ගේ අසීමිත ආදරය හිමිවේ. ලෝකයේ නොයෙක් පෙදෙස් වලින් පැමිණි ජනයාගේ එකම චේතනාව ඔවුන්ගේ භක්ත්‍යාදරය සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත පළකිරීම හැර වෙනත් පටු හෝ පෞද්ගලික මතාන්තර මෙහි නොවේ.